Tuesday, March 22, 2016

25

අඳුරෙහි අස් ලොම විදිනට දුර          දී
විදුලිය පැහැ වැරැදුණ හොත්        වරදී
විදුලිය වන් මේ කය ලත් තැන         දී
සිදු නො කළොත් මතු සග මොක්     වරදී

අදහස:

එල්ලන ලද අශ්ව ලෝමයකට අන්ධකාරයේ බොහෝ ඈතක සිට විදීමේදී විදුලිය එළිය වැරදුණ හොත් (ඒ විදමන) වරදින්නේය. එ මෙන් විදුලියක් බඳු අස්ථිර වූ මේ මනුෂ්‍ය භාවය ලැබූ අවස්ථාවේ ම (පින්) නො කළොත්් ඉදිරි කාලයේ දෙව් සැප හා නිවන් සැප වරදින්නේ ම ය.

24

තිර ව නො සිත කුණු කය මෙ      තමායේ
නොතිර බවට විදුලිය            උපමායේ
නිතර මෙ කය පවකට නො        නමායේ
කරව කුසල් වීරිය             නොපමායේ

අදහස:

මේ තමා ගේ කුණු වී යන ශරීරය ස්ථිර දෙයකැයි නො සිතන්න. (එහි) අස්ථිර භාවය පිළිබඳව උපමාවට සුදුසු වන්නේ විදුලියයි. (එ බැවින්) මේ ශරීරය පවකට නො යොදා ප්‍රමාද නො වී නිතරම පින් කිරීමට වීරිය කරන්න.

23

තැත කින් ගෙන දැමුවත් කැට නුබ      කුස
අත රක නොරඳන මෙන් මේ බිම       මිස
සිත සතොසින් පින් නො කළොත් නිසි    ලෙස
නැත සිටිනා තැන් සතර අපා         මිස

අදහස:

(ගල්) කැටයක් උත්සාහයකින් ඔසොවා ගෙන අහස් කුසට දැමුවත් එය මේ බිම මිස අතරතුරෙක රඳන්නේ නැත. එමෙන් සිතේ සතුටින් යෝග්‍ය විධියට පින් නො කළොත්, හතර අපායේ මිස ඉන්නට වෙන යහපත් තැනක් නො ලැබේමය.

Saturday, March 19, 2016

22

ඉස ගිනි ගත්තකු එ ගිනි නිවන       ලෙස
කුසලට මඳකුත් පමා නොවනු         මිස
මෙ සසර අත් හැර නො යන මෙ දුක්   රැස
වෙසෙසින් නැත අත් හරිනා       උපදෙස

අදහස:

හිස කෙස්වලට ගිනි ඇවුලුණු එකකු ඒ ගින්න නිවන්නට යම් සේ ඉක්මන් විය යුතු ද, එපරිද්දෙන්ම, පිනට ටිකක් වත් ප්‍රමාද නොවීම හැරෙන්නට, සසර අත් හැර නොයන මේ දුක් රැස අත් හැරීම පිණිස විශේෂයෙන් දිය හැකි වෙන උපදේශයක් නැත. 

21

කන් නන් මෙන් විස අඹ පල      රිස්සේ
මන් සන් තොස් කැර කිම පල    සෙස්සේ
දැන් දැන් එයි මරුවා පසු       පස්සේ
ඉන් පින් ම ය කටයුතු නම්       දස්සේ

අදහස:

විෂ යෙදූ අඹ ගෙඩි කැමැත්තෙන් ම කන අය මෙන්, (පස් කම් රසින්) සිත් සන්තෝෂ කිරීමෙන් ඉතිරි වන පලයක් ඇද්ද? (නැත් මැ යි) මාරයා (මරණය) දැන් දැන් කොයි මොහොතේ හෝ පසු පස්සේ එයි. ඒ නිසා දක්ෂ ලෙස කළ යුතු වන්නේ පින් ම ය.

20

පස් පව් කොට මෙ තැනත් ලැබ      සෝකය
ගොස් නිරයේ දුක් විඳිති           අනේකය
රැස් කොට ඉන් පින් මෙමිනිස්        ලෝකය
සිස් නො කරවු කලෙකින් ලත් මේ       කය

අදහස:

පස් පව් කරමින් මේ ආත්මයේදී ද සෝක උපදවා, නැවත වරක් මිය ගොස් අපායේ වැටී නොයෙකුත් දුක් විඳිති. එ බැවින් මනුෂ්‍ය ලෝකයේදී පින් රැස් කොට, දීර්ඝ කාලයකට පසු ලැබූ මේ මනුෂ්‍ය ආත්මය හිස් එකක් නො කරවු.

19

කලෙකිනි බුදු කෙනෙකුන්        උපදින්නේ
දුකෙකිනි මිනිසත් බව ලැබ        ගන්නේ
මෙදෙකිනි මෙ සසර දුක් දුර       ලන්නේ
සුදනෙනි කිම වීරිය නො         කරන්නේ

අදහස:

බුදු කෙනෙකුන් උපදින්නේ (දීර්ඝ) කාලාන්තරයක් ගත වූ විටය. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබ ගන්නේ (මහත් වූ) දුකකිනි. (බුද්ධෝත්පාදයත් මනුෂ්‍ය ආත්මභාවයත් යන) මේදෙක නැතිව සසර දුක් දුරු කළ නොහැකිය. (ඉතින්) සත්පුරුෂයිනි, ඊට උත්සාහ නොකරන්නේ ඇයි?