Saturday, February 27, 2016

7

බිම ඉඳ සිට කී බණ        නාසන්නේ
විමතිව උඩ ඉඳ සිට        නාසන්නේ
කැමතිව කීවොත්       විමසා'සන්නේ
එම වද සග මොක් සැප    සාදන්නේ

අදහස:

සිට ගෙන කී බණ බිම ඉඳ නොඅසන්න. හොඳ කල්පනාව නැතිකමින් උඩක ඉඳ ගෙන හෝ සිට ගෙන හෝ බණ නොඅසන්න. බණ කීවොත් කැමැත්තෙන් විමසිලිමත් ව අසන්න.සග මොක් සැප (සග-දෙව්ලොව, මොක්-නිවන්) ලබා දෙන්නේ එසේ බණ ඇසීමෙන් නොවේද?.

6

එබැවින් එළුවෙන් කීවයි        අනදර
නොවමින් බැතියෙන් අදරින් නම    කර
සතොසින් ඇසුවොත් මෙ දහම්    මනහර
සැබැවින් සිදුවෙයි සග මොක්    සිරිසර

අදහස:

එබැවින් සිංහල භාෂාවෙන් කීවාය කියා අගෞරවයක් නොසිතා භක්තියෙන් යුක්තව සිතට ප්‍රිය වන මේ ධර්මය ඇසුවොත් දෙව්ලොව සැපද නිවන් සැපද සැබැවින්ම ලැබේ.

Friday, February 26, 2016

5

දහමට සරි කොට එළුවෙන් පෙර    කී
කවියට සිත පහදා සිට        නිසැකී
සිහිකොට කඳ පිළිවෙළ දොස්  නොයෙකී
නිවනට සපැමිණි සඟ සැට     නමෙකී  

අදහස :

අතීතයේ ධර්මයෙහි දක්වා ඇති පිළිවෙළ අනුව සිංහලයෙන් තනා කියන ලද කවියකට සිත පැහැදී සැක නැතිවම කඳ පිළිවෙළෙහි ඇති බොහෝ දෝෂ සිහි කොට, නිවනට පැමිණි සංඝයා වහන්සේලා හැට නමකි.
(එක් කලෙක ශ්‍රී ලංකාවේ ඇල් ගෙවිලියන් පිරිසක් විසින් කියන ලද ධර්මය ඇතුළත් කවියක් අසා ඒ අසලින් වැඩි සංඝයාවහන්සේලා සැට නමක් රහත් වූ බව කියවේ.)

කඳ පිළිවෙළ = ස්කන්ධ පරිපාටිය, සත්වයා නිමවී ඇති රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, යන ස්කන්ධ පරිපාටිය. 

4

මනරම් නරදම් සැරිදම්          සඟනට
මෙලෙසින් බැතියෙන් අදරින් නම    කොට
වෙසෙසින් පෙළ දම් නොම දත් දන  හට
පවසම් කළ කම් පල දැන් හෙළු    කොට

අදහස:

සිත් පිනවන නරදම් සැරි වූ (පුරුෂ දම්ම සාරථි) බුදුන් වහන්සේට ද,ධර්මයට ද, සංංඝයාට ද,ඉහතින් දැක්වූ ලෙස භක්තියෙන් ද ආදරයෙන් ද, නමස්කාර කොට, විශේෂයෙන් ම පාලි භාෂාවෙන් ඇති ධර්මය නොතේරෙන ජනයාට, කළා වූ කුශලාකුශල කර්මයන් සඳහා ලැබෙන පල විපාක දැන් සිංහල භාෂාවෙන් කියමි.

Thursday, February 25, 2016

3

සිරිමත් බඹ සිරසෙහි පා      පිසිනා
සැරියුත් මහ මුගලන්      පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟ ගණ  සොබනා
මුඳුනත් දී නමඳිම් බැති     පෙමිනා

අදහස:

ශ්‍රීයෙන් යුත් මහා බ්‍රහ්මයන්ගෙන් පවා වැඳුම් ලබන, මහ සැරියුත් මහ මුගලන්  යන අග සවුවන් වහන්සේ දෙනමගේ පරම්පරාවෙන් පිළිවෙළින් පැමිනියා වූ, ප්‍රතිපත්තියෙන් සාර වූ මහා සංඝ සමූහයා, මම භක්තියෙන් යුතුව හිස මුඳුන්හි අත් තබා වඳිමි.

Monday, February 22, 2016

2

ඇම පමණින් පැවසූ මුනි දැන         තතු
මෙම  හැම දෙන  බලවයි දැක්විය     යුතු
තම තම  නැණ පමණින් දැන ගත     යුතු
මම නමඳිම් සදහම් පැහැදී           සිතු

අදහස:

මුනින්ද්‍රයන් වහන්සේ තතු දැන ගෙන කාටත් අවබෝධ වන පිළිවෙළට ප්‍රකාශ කළා වූ ද, හැම දෙනාට ම "මෙය විමසා බලවයි " කියා දැක්විය යුතු, තම තමන්ගේ ඥාන ප්‍රමාණය අනුව  දැන  අවබෝධ  කළ යුතු වූ ද, සද්ධර්මය මම සිත පහදවා වඳිමි.

1

සෙත් සිරි දෙන මහ ගුණ        මුහුදාණන්
සත් හට වන බව දුකට         වෙදාණන්
තිත් ගන'ඳුරු දුර ලන          දිනඳාණන්
සිත් සතොසින් නමඳිම්          මුනිඳාණන්

අද්හ්ස්:
(සත්වයාට) නිවන් අවබෝධ කරවා දෙන, මුහුදක් මෙන් පිරුණු මහ ගුණ ඇති, සසර දුක් නිවන මහ වෙදකු බඳු, මිථ්‍යාදෘෂ්ටි නමැති මහ අඳුර දුරු කරන සූර්යයකු වැනි බුදුන් වහන්සේ සතුටින් වඳිමි.

Sunday, February 21, 2016

වීදාමෛත්රීය මෝ!

කෝට්ටේ රාජධානි සමයේ වීදාගම මහ විහාරාධිපති ව වැඩ විසූ මෛත්‍රේය මහ තෙරුන් වහන්සේ 6 වැනි සිරි පැරකුම්බා (ක්‍රි.ව 1412-1467)සහ 6 වැනි බුවනෙකබා (ක්‍රි.ව 1467-1476) යන රජවරුන් දෙදෙනා ගේම රාජ්‍ය කාල තුල ජීවත් ව කටයුතු කල බවට සාක්ෂි ලැබේ. විශේෂයෙන් ම සිරි පැරකුම්බා රජුගේ අභාවයෙන් පසු උදා වු 6 වැනි බුවනෙකබා රජුගේ රාජ්‍ය කාලය තුළ උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ශාසනික කටයුතුවල ප්‍රධානත්වය ගෙන කටයුතු කළේය. ත්‍රිපිටක ධර්මයේ විශාරදත්වයට පැමිණ සිටි විචිත්‍ර ධර්ම කථිකයකු වූ උන්වහන්සේ යාපනය ප්‍රදේශයේ පැවැත්වූ ධර්ම දේශනාවක් අසා බුවනෙකබා රජු ඉතා පැහැදී කළපූජාවක් පිළිබඳ ව විස්තර සෙල් ලිපියක සඳහන් වේ.උන්වහන්සේ විසින් රචිත  ලෝවැඩ සඟරාව, බුදුගුණාලංකාරය යන කවි පොත් දෙක  සිංහල බෞද්ධ සමාජයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් ව ඇත. උන්වහන්සේ විසින් ම එලු අත්තනගලු වංශයක් ද ලියැවිණි.